විනාශ කරන්න දුන් ඉස්සන් කන්ටේනර් දෙකක් පෑලියගොඩට ගෙන ගොස් හොරෙන්ම අඹරලා

තිස්ස රවින්ද්‍ර පෙරේරා

ඇමෙරිකාවෙන් ආනයනය කර කල් ඉකුත් වීම හේතුවෙන් විනාශ කිරීමට නිර්දේශ කළ කොළඹ වරායේ තිබූ ඉස්සන් කන්ටේනරයක් හොර පාරෙන් පිටතට ගෙන ගෙනයාම සම්බන්ධව විශේෂ පරීක්‍ෂණයක් ආරම්භ වී ඇත .
විනාශ කිරීමට නිර්දේශ කර තිබියදී පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ පිහිටි සත්ව ආහාර නිෂ්පාදනය කරන සමාගමක යන්ත්‍රවලට දමා මෙම ඉස්සන් තොගය ඇඹරීමේ සිද්ධිය පිළිබඳව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පරීක්ෂණයක් ආරම්භ කර ඇත.


විනාශ කිරීමට නිර්දේශ කර තිබූ මෙම ඉස්සන් කන්ටේනරය පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයට ගෙන ගොස් ජනතාවට අළෙවි කිරීමට සූදානම් වන්නේ යැයි ලැබුණු පැමිණිල්ලකට අනුව එම ස්ථානය පරීක්ෂා කර තිබේ. විනාශ කිරීමට නිර්දේශ කළ ආහාර ද්‍රව්‍යයක් හෝ භාණ්ඩ විනාශ කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය නිකුත් කළ බලපත්‍රයක් අදාළ සමාගමට නොමැති යැයි මූලික පරීක්ෂණවලදී හෙළිවූ බවත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ උසස් නිලධාරියකු කීය.
ඒ හේතුවෙන් එවැනි විනාශ කිරීමකට එම සමාගමට ඇති බලපත්‍ර ඇතුළු ලියකියවිලි රැගෙන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත අප්‍රේල් 6 වැනිදා පැමිණෙන ලෙස එම ඉස්සන් ආනයනය කළ සමාගමේ ප්‍රධානියාට දැනුම් දී ඇත. මෙවැනි විනාශ කිරීමට නිර්දේශ කළ ආහාර ද්‍රව්‍ය හෝ භාණ්ඩ විනාශ කිරීමට විශේෂ ක්‍රියාපටිපාටියක් ඇති නමුත් රජයට අයවිය යුතු ආදායම් පවා අහිමි කරමින් මේවා හොර පාරෙන් වෙළඳපලට එවීමට උත්සාහ කර ඇතැයි සැක කරන බව විමර්ශන නිලධාරියකු සඳහන් කළේය.
ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇතුළු රාජ්‍ය ආයතන කීපයක නිලධාරීන්ගේ අධීක්ෂණයෙන් මෙම කන්ටේනරය වරායෙන් පිට කර ඇත. කන්ටේනරයේ ගබඩා කර තිබූ ඉස්සන් විශාල තොගයක් අදාළ සමාගමේ යන්ත්‍රවලට දමා අඹරා ඇති බවත් විනාශ කිරීමට නිර්දේශ කළ ආහාර ද්‍රව්‍යයක් සත්ව ආහාර නිෂ්පාදනය කරන සමාගමකට ගෙන යාම පවා නීති විරෝධි බවත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ එම උසස් නිලධාරියා වැඩිදුරටත් කීය.
පසුගිය ජනවාරි මස ඇමෙරිකාවේ සිට කොළඹ වරායට ළඟා වූ කන්ටේනර් දෙකක් තුළ විශාල ප්‍රමාණයේ ඉස්සන් කිලෝග්‍රෑම් 50,000 ක් ගබඩාකර තිබී ඇත. ආනයනකරුවන් එම ඉස්සන් තොගය නිදහස් කරනොගැනීම නිසා ඒවා අළෙවි කිරීමට වරාය අධිකාරිය ටෙන්ඩර් කැඳවුවත් ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව ඒ සඳහා ඉහළ ලංසුවක් තබා තිබීම නිසා ඉල්ලුම්කරුවකු ඉදිරිපත් නොවූ බවත් වරාය අධිකාරියේ සේවකයෝ පවසති.
එම ටෙන්ඩර් කැඳවීමේදී ඉස්සන් කන්ටේනර් දෙක මිලදීගැනීම සඳහා එම කන්ටේනරයක් රැගෙන ගොස් ඉස්සන් ඇඹරූ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීරණයේ ඇති ඉහත සඳහන් පෞද්ගලික සමාගම ද ටෙන්ඩර් ඉදිරිපත් කර තිබූ බව ද වරාය සේවකයෝ කියති.
පළමු ටෙන්ඩරයකදී ගැනුම්කරුවකු ඉදිරිපත් නොවුවහොත් තුන්වරක් ටෙන්ඩර් දැමිය යුතු වුවද වරාය අධිකාරියේ වර්තමාන පරිපාලනය එම ඉස්සන් තොගය නැවත ටෙන්ඩර් නොකළ බව එහි සේවකයෝ පෙන්වා දුන්හ.
වරායේ සහ රේගුවේ ඇතැම් නිලධාරීන්ගේ සම්බන්ධීකරණයෙන් මෙම ඉස්සන් තොගය විනාශ කරන ලෙස නිර්දේශ කළ බව ද සඳහන් කළහ.
එම ඉස්සන් කන්ටේනර් දෙක විනාශ කිරීමේ නිර්දේශය ඉක්මන් කිරීමේ උපක්‍රමයක් ලෙස එම කන්ටේනර් දෙක හිමි නැව් සමාගමට හිස් කන්ටේනර් දෙක ඉක්මණින් අවශ්‍ය යැයි පවසා වරාය වෙත ලිපියක් ද එවා ඇත. මෙම ඉස්සන් විනාශ කිරීමට නිර්දේශ කර පෑලියගොඩ අදාළ සමාගමට පසුගිය අප්‍රේල් 03දා යොමු කරන ලෙස රේගු දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධ්‍යක්ෂ එම්.ඩී.පී.එම්. පෙරේරා ලිඛිතව දැනුම් දී තිබූ බවත් වරාය සේවකයෝ සඳහන් කරති.
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ප්‍රධාන කළමනාකරු (සේවා සැපයුම්) ප්‍රියශාන්ත කැටිපේආරච්චි, අදාළ කන්ටේනර්වල ඉස්සන් මිනිස් පරිභෝජනයට නුසුදුසු යැයි සඳහන් කරමින් ඒවා ඉවත් කිරීමට අවසර ඉල්ලමින් පසුගිය පෙබරවාරි මස දිනයක් නොමැති ලිපියක් හරහා රේගුවෙන් අවසර ඉල්ලා ඇති බව ද වරාය සේවකයෝ කීහ.
මෙම කන්ටේනරය පෑලියගොඩ පෞද්ගලික සමාගමට ගෙන යන තෙක් ඒ සම්බන්ධ සියලුම කටයුතු වරාය පාර්ශවයෙන් එකම නිලධාරියෙක් මෙහෙය වූ බව කියන සේවකයෝ මෙරට ජනතාව දූෂණයට එරෙහිව පත් කළ වර්තමාන ආණ්ඩුව එම නිලධාරියා එම උසස් තනතුරට මෑතකදී පත් කළ බව ද සඳහන් කළහ.
විනාශ කිරීමට නිර්දේශ කළ මෙවැනි තොගයක් පෞද්ගලික සමාගමක් වෙත ගෙන යාමට රේගුවට හෝ වරාය අධිකාරියට කිසිදු නීතිමය අයිතියක් නොමැති බවත් මෙම සිද්ධිය පිළිබඳව වර්තමාන ආණ්ඩුව දැඩි අවධානය යොමු කළ යුතු බවත් වරාය සේවකයෝ පැවසූහ.
මෙම ඉස්සන් කන්ටේනර් දෙක විනාශ කිරීමට නිර්දේශ කිරීමේ නිසා රජයට සහ වරාය අධිකාරියට රුපියල් කෝටි ගණනක පාඩුවක් වූ බව ද වරාය සේවකයෝ වැඩිදුරටත් සඳහන් කළහ.
රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතාගෙන් මේ පිළිබඳව කළ විමසුමකදී පැවසුවේ එම ඉස්සන් තොගය නරක් වී ඇති බැවින් ඒ ආකාරයටම විනාශ නොකරන ලෙස සත්ව නිරෝධායන වෙතින් උපදෙස් ලැබී තිබූ බවත් ඒ හේතුවෙන් පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණය ඇති අදාළ සමාගමේ යන්ත්‍ර වලට දමා වියලූ බවත් එම කන්ටේනරයේ තිබූ ඉස්සන් මලු 67 ක් වියලා ඇති බවත්ය.
ඉතිරි කන්ටේනරයේ ඉස්සන් තොගය ද පෑලියගොඩ එම සමාගමටම අනිද්දා (8) ගෙන ගොස් වියළන බවත් කන්ටේනර් දෙකේම ඉස්සන් වියළීමෙන් පසුව කෙරවලපිටිය ප්‍රදේශයේ වගුරු බිමක වලදමන බවත් සීවලී අරුක්ගොඩ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

( මාධ්‍යවේදී තිස්ස රවින්ද්‍ර පෙරේරා වටිසැප් සමුහයට මුදාහල ලිපියකින් උපුටා ගත්තකි.)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *