නයිජිරියාවේ පැවති ආර්ථික සහ ආරක්ෂාව සම්බන්ධව කටයුත්තකට

ආරක්ෂක ලේකම් සමග නිශ්ශංක සේනාධ්පති ගියේ කොහොමද

ආරක්ෂක ලේකම්වරයා සහ යුද හමුදාපති පසුගිය දින නයිජීරියාවේ සංචාරයක නිරතව තිබේ. මෙම සංචාරයේ අරමුණ ලෙස නයිජීරියානු රජය සඳහන් කර තිබෙන්නේ “ ශ්‍රී ලංකා නියෝජිත පිරිසට ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් සහ පෞද්ගලික අංශයේ අදාළ පාර්ශවකරුවන් ඇතුළත් වු බවයි. නයිජීරියාව සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික සහ ආරක්ෂක සහයෝගීතාව ශක්තිමත් කරගැනීම පිළිබඳව මෙහිදී සාකච්ඡා වු බව සදහන් කරයි.

ඒ අනුව මෙම සංචාරය සඳහා ඇවන්ගාර්ඩ් හිමිකරු නිශ්ශංක සේනාධිපතිද සහභාගි වී ඇතත් ආර්ථිකය සම්බන්ධව කටයුතු කළයුතු ආර්ථික සංවර්ධන නිලධාරීන් සහභාගී වී නැත. මේ පිළිබඳව ගැටළු ගණනාවක් පිළිබඳව ආරක්ෂක හමුදා නිලධාරීන්ම විවිධ සැක පහල කිරීම් කරන අතර ආර්ථිකය සම්බන්ධව කටයුතුවලට ජාත්‍යන්තර වශයෙන් මැදිහත්වීමට නම් ඒ වෙනුවෙන් මුදල් අමාත්‍යංශය මැදිහත් විය යුතුය. මෙම චාරිකාවෙන් ශ්‍රී ලංකාවේ ආරක්ෂාව සම්බන්ධවද යම් ගැටළුවක් නිර්මාණය වී ඇති බවට විවිධ කතාබහක් ඇතිව තිබේ. රජය මෙම චාරිකා සඳහා ප්‍රතිපාදන වෙන් කරනුයේ අපගේ බදු මුදලෙන් වන්නේ නම් මෙම චාරිකාවේ ස්වරූපය මෙන්ම සකලවිධ ශ්‍රී ලාංකිකයන්ට මේ තුළින් හිමිවන ප්‍රතිලාභය දැනගැනීමට සදාචාරාත්මක මෙන්ම නෛතික අයිතියක් පුරවැසියන්ට තිබෙන බැවින් මෙම සංචාරයෙන් රටට අත්වන වාසිය කුමක්ද යන්න දැන ගැනීමට මහජනතාවට අයිතියක් තිබේ.

නිශ්ශංක සේනාධිපති යනු පෞද්ගලික ආයතනයක හිමිකරුවෙක් වන බැවින් රජයන් අතර ආරක්ෂාව සම්බන්ධව කටයුතුවලට පෞද්ගලික ආයතන හිමිකරුවන් සහභාගි වීම පිළිබඳව ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් මවිතය පළකරයි. “මෙම සංචාරය ජාතික ආරක්ෂාව සැලසීම අරමුණු කරගත් සංචාරයක් නම් රාජ්‍යය ආරක්ෂාවට කිසිසේත් සහසම්බන්ධ නොවන රජයේ තනතුරු කිසිත් නොදරන ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මෙම සංචාරයට සහභාගි වීම තුළින්ම ආරක්ෂක සහයෝගීතාව පිළිබඳ සාකච්ඡා කරනු ලබන සංවේදී කරුණු රැසක් තුන්වන පාර්ශවයක් අතට පත්වීම ජාතික ආරක්ෂාවට තර්ජනයක් යැයි ආරක්ෂක ලේකම්වරයාට නොතේරීම ඔහුගේ පරිණතභාවය පිළිබඳව” ගැටළුවක් බව ඔවුන් පෙන්වා දෙයි.

ඒ අනුව මෙම සංචාරය පිළිබඳව විදේශ කටයුතු අමාත්‍යංශය සහ මුදල් අමාත්‍යාංශයද දැනුවත් විය යුතුය. ඒ ශ්‍රී ලංකාවේ ආරක්ෂක සහ ආර්ථික සහයෝගීතාවය පිළිබඳව කටයුතු සිඳුව තිබෙන බැවිනි. ආරක්ෂක අමාත්‍යංශය වෙනුවෙන් ආරක්ෂක ලේකම්වරයා සහභාගි වීම නීත්‍යානුකූල වේ. රජය සහ සම්බන්ධ ජාත්‍යන්තර කටයුතුවලදී කළ යුතු පිළිවෙලක් තිබේ. ඔවුන් මෙහිදී නයිජිරියාවේ විදේශ කටයුතු අමාත්‍යවරයාද මුණ ගැසී තිබේ.

ඒ අනුව විදේශ කටයුතු අමාත්‍යංශය සහ ආරක්ෂක ලේකම්වරයා විසින් විධානදාමයට ( ප්‍රොටකෝල්) අනුව කටයුතු කළේද යන්න, සහ මෙම සංචාරයට නිශ්ශංක සේනාධිපති මහතා සහභාගිවීම මෙන්ම, එම සංචාරයෙන් ශ්‍රී ලංකාවට ලැබෙන සහන මොනවාද යන්නද නිවේදනයක් මඟින් ප්‍රකාශ කළ යුතුව තිබේ.
එසේම රාජ්‍ය තාන්ත්‍රික විදේශ සංචාරයක් මෙන්ම, ආරක්ෂක අංශ ප්‍රධානීන් සමඟ පෞද්ගලික අංශ ව්‍යවසායකයෙකු සම්බන්ධව තිබෙන්නේ කුමන හේතුවක් මතද යන්න පැහැදිලිව එම නිවේදනය තුළ සඳහන් නොකිරිමෙන්, මේ වන විටත් ඇතිව තිබෙන කුකුස දිගින් දිගටම වර්ධනය වීමය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *