ජනපතිට අභියොග් කරන ශාන්ගේ පෙත්සම පසුපස ඇති අරමුණු ගැන බරපතල සැකයක්

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරි ජනාධිපතිවරණයේදී අපේක්ෂකයෙකු වශයෙන් ඉදිරිපත් වීමට නුසුදුසු බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා නීතිඥ ශාන් රණසූරිය ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර ඇති  මූලික අයිතිවාසිකම් පෙත්සම පසුපස  එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයන් කීපදෙනෙකු සිටින බව දැඩි කතාබහක් ඇතිවී තිබේ.

ජනාධිපතිවරයා චේතනාන්විතවම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කර තිබෙන බැවින් ඔහුට ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෙකු වශයෙන් ඉදිරිපත් කිරීම නුසුදුසු බව පවසන පෙත්සම්කරු සැප්තැම්බර් මස 21 වනදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී අපේක්ෂකයෙකු වශයෙන් රනිල් වික්‍රමසිංහ ඉදිරිපත්වීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරත් ඉල්ලා තිබේ.

පෙත්සම්කරු මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ, පොලිස් දෙපාර්තමේන්තුව සඳහා වැඩ බලන පොලිස්පතිවරයෙකු පත් කරන ලෙස ජනාධිපතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටිමිනි.

පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපතිවරයා හා නීතිපතිවරයා නම් කර තිබේ.

පෙත්සම්කරු කියා සිටින්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30(1) වගන්තිය යටතේ ජනාධිපතිවරයා වශයෙන් දිවුරුම් දී ඇති අතර ඔහු මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට ප්‍රතිඥාවක් ලබාදී ඇති බව ය.

එමෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107(7) ව්‍යවස්ථාව ප්‍රකාරව ශ්‍රේෂ්ඨාධිකරණයට සහ අභියාචනාධිකරණයට විනිසුරුවරුන් පත් කිරීමේ වගකීමත් ඔහු වෙත පැවරී තිබෙන බව පෙත්සම්කරු පෙන්වා දී ඇත.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්ධුල කරුණාරත්න ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු වශයෙන් උසස් කිරීම සඳහා යැවූ නාම යෝජනාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව විසින් අනුමත නොකිරීමෙන් අනතුරුව එම උසස්වීමද සිදු නොකෙරුණු බවත් ඉන් පසුව මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු පුරප්පාඩු දෙකක් සහ අභියාචනාධිකරණයේ විනිසුරු පුරප්පාඩු පහක් මතුව තිබෙන බවත් පෙත්සමෙන් පෙන්වා දී තිබේ.

එසේ ම දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා වශයෙන් පත්කිරීම අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කෙරුණු බව පෙන්වා දෙන පෙත්සම්කරු එම පෙත්සම් විභාගයට ගැනීමට අවසර දුන් ශ්‍රේෂ්ඨාධිකරණය දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධූරයේ රාජකාරි කටයුතු හා බලතල ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉකුත් මස 24 වනදා අතුරු නියෝගයක් නිකුත් කළ බවත් සිහිපත් කර ඇත.

එම අතුරු තහනම් නියෝගය තුළින් ජනාධිපතිවරයාට වැඩ බලන පොලිස්පතිවරයකු පත් කිරීමට කිසිදු බාධාවක් නොමැති බව ඉතා පැහැදිලිව පෙන්වා දී ඇති බවත් පෙත්සම්කරු පෙන්වා දෙයි.

එහෙත් තමා ඉදිරි ජනාධිපතිවරණයේදී අපේක්ෂකයෙකු වශයෙන් ඉදිරිපත් වී ඇති නිසා තමන්ට වැඩ බලන පොලිස්පතිවරයෙකු පත් කිරීමට හැකියාවක් නොමැති බව රනිල් වික්‍රමසිංහ විසින් ප්‍රකාශ කර ඇතැයි පෙන්වා දෙන පෙත්සම්කරු, එසේ ප්‍රකාශ කළ ජනාධිපතිවරයා අලී සබ්රි අධිකරණ අමාත්‍යවරයා වශයෙන් පත්කිරීමට කටයුතු කර ඇති බවත් පෙත්සමේ සඳහන් කර තිබේ.

මෙම ක්‍රියාවන් හරහා ජනාධිපතිවරයා චේතනාන්විතව ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් තම බලය අයුතු ලෙස පරිහරණය කර තිබෙන බවත් පෙත්සමෙන් චෝදනා කර ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව උපරිමාධිකරණයට විනිසුරුවරු පත් නොකිරීම තුළින් ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන උල්ලංඝණය කර තිබෙන බව පවසන පෙත්සම්කරු වැඩ බලන පොලිස්පතිවරයෙකු පත් නොකිරීම තුළින් මහජන ආරක්ෂව අනතුරේ හෙළීමට කටයුතු කර තිබෙන බවත් පෙන්වා දී තිබේ.

ජනාධිපතිවරයා චේතනාන්විත ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කර තිබෙන බැවින් ඔහුට ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෙකු වශයෙන් ඉදිරිපත් කිරීම නුසුදුසු බවත් පෙත්සම්කරු චෝදනා කර ඇත.

මෙම ක්‍රියාව තුළින් ජනාධිපතිවරයා මහජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය කර ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් පොලිස් දෙපාර්තමේන්තුවේ සිටින සුදුසු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වැඩ බලන පොලිස්පතිවරයා ලෙස පත් කරන මෙන් ජනාධිපතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

මේ සියල්ල අතරේ ජනාධිපතිවරයා මේ වන විට වැඩබලන අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයෙකු ද පසුගියදා පත් කර ඇත. මේ සියලු කටයුතුවල අරමුණ ශ්‍රේෂ්ඨාධිකරණය හා දැවැන්ත ගැටුමක් නිර්මාණය කර ගෙන බරපතල තත්වයක් රට තුඅල නිර්මාණය කර ගැනීමදැයි සැක මතුවී තිබේ. පසුගිය දිනවල ආණ්ඩුවේ අත්තනොමතික තීරණවලට හා වංචා දුෂණ වලට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දු රජයේ දැඩි විරෝධයට හේතුවී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *