කෘතීම හොකී පිටිය අඩු මාසෙන් වදන්න ගොස් අමාත්‍යාංශය නා ගනී.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ජයග්‍රහණය අරමුණු කරගෙන ඇති විශාල මුදලක් වියදම් කරමින් සංවිධාන කෙරුණු දින තුනක දැවැන්ත හොකී තරග මාලාවක් දින නියමයකින් තොරව කල දමන්නට සිදුව ඇතැයි වාර්තාවේ.මීට හේතු වී තිබෙන්නේ නවීකරණය කෙරුණු කොළඹ කෘතීම හොකී පිටියේ ප්‍රතිසංස්කරණ කටයුතු ආණ්ඩුවට අවශ්‍ය කාල රාමුව තුල නොලැබී යෑමය.

කාලයක් තිස්සේ අබලන් වී ක්‍රීඩා කිරීමට නොහැකි තත්ත්වයට පත්ව තිබූ කෘතීම හොකී පිටිය ප්‍රතිසංස්කරණ කටයුතු පසුගිය දිනවල ආරම්භ වී තිබිණ.කෙසේ වෙතත් ජනාධිපතිවරණය වෙනුවෙන් දේශපාලන වාසි ලබා ගැනීම සඳහා එහි ප්‍රතිසංස්කරණ කටයුතු කඩිමුඩියේ ප්‍රමිතියට පටහැනි ලෙස සිදුවෙමින් පවතින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පසුගිය දිනෙක පාර්ලිමේන්තුවේ දී ආණ්ඩුවට චෝදනා කළේය.

කෙසේ වෙතත් පසුගිය 16 දිනට (අගෝස්තු 16 ) එය විවෘත කිරීමට දින නියම කළ ක්‍රීඩා අමාත්‍යාංශය කලක් තිස්සේ සැලසුම් කරමින් තිබූ ජනාධිපති කුසලාන හොකී තරගාවලිය එදින සිට 18 දා තෙක් දින තුනක් කෘතීම හොකී පිටියේ උත්සවාකාරයෙන් පැවැත්වීමට තීරණය කොට තිබිණ.ඒ එක් පිලකට 9 දෙනා බැගින් වන ක්‍රීඩා සමාජ (කාන්තා/පිරිමි)සහ පාසල් (බාලක/බාලිකා) තරගාවලියක් ලෙසය.

මේ සඳහා ත්‍රිවිධ හමුදා සහ පොලිස් වැනි දිවයිනේ සියලුම ප්‍රමුඛ හොකී කණ්ඩායම් මෙන්ම යාපනය වැනි ඉතා දුර බැහැර ප්‍රදේශවලින් පවා කණ්ඩායම් සහභාගී  වීමට නියමිතව තිබිණ.

කෙසේ වෙතත් කෘතීම හොකී පිටියේ ප්‍රතිසංස්කරණ කටයුතු නියමිත පරිදි අවසන් නොවීම නිසා 16 වැනිදාට නියමිතව තිබූ ක්‍රීඩා පිටිය විවෘත කිරීම සහ හොකී තරගාවලියේ සමාරම්භක උළෙල අවසන් මොහොතේ පසු දිනට එනම් 17 දින දක්වා කල් දමනු ලැබීය.

සමාරම්භක උළෙල සහ ක්‍රීඩා පිටිය විවෘත කිරීමේ උත්සවය වෙනුවෙන් 17 දා පෙරවරු 7ට ක්‍රීඩක ක්‍රීඩිකාවන් කැදවා තිබූ අතර ඒ අනුව ඇතැම් පිට පළාත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් බොහොමයක්  කොළඹ බලා පැමිණීමට පිටත්වීමෙන් ද පසු දැනුම් දෙනු ලැබුවේ එම අවස්තාව පෙරවරු 10 පමණ දක්වා කල් තැබෙන බවය.

කෙසේ වෙතත් එදිනද සවස් වන තෙක්ම ක්‍රීඩා පිටිය විවෘත කිරීම හෝ තරගාවලිය ආරම්භ වීමක් සිදු වූයේ නැත.අවසානයේ  පස්වරු තුනට පමණ දැනුම් දෙනු ලැබුවේ තරගාවලිය දින නියමයකින් තොරව කල් දමන බවය.දේශපාලන අවශ්‍යතා මත, මන්ත්‍රීකමක් හෝ නොමැතිව අවතාරයක් සේ ක්‍රීඩා අමාත්‍යාංශය මෙහෙයවන හිටපු ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දුගේ නියමයෙන් කඩි මුඩියේ සංවිධාන කළ මෙම ක්‍රීඩා තරගාවලිය මෙලෙස කල් දැමීම නිසා රට පුරා හොකී ක්‍රීඩා සමාජ ,පාසල් , ක්‍රීඩක ක්‍රීඩිකාවන් ,නිලධාරීන් දැඩි අපහසුතාවකට පත්වූ අතර ඔවුන්ගේ මුදල් ද නාස්තිවිය.එසේම තරගාවලියේ මූලික සංවිධාන කටයුතු, විවිධ ගාස්තු සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ නිලධාරීන්ගේ ආහාරපාන අවශ්‍යතා වෙනුවෙන් විශාල මහජන මුදල ප්‍රමාණයක්ද මේ නොකෙරුණු මංගල්‍යයක් වෙනුවෙන් නාස්ති වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *