පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ සහ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පාලනය ගාමිණි වික්‍රමසිංහ යටතට

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ සහ ආගමන විගමන දෙපාර්තමේන්තුව යන ප්‍රමුඛතම රාජ්‍ය ආයතන දෙකක එළිපිටම සිදුවන මහා පරිමාණ වංචා සමූහයක් පිළිබඳව එහි සේවකයින් හෙළිකරයි.

ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේ එම පාලනාධිකාරය මගින් අනිසි ලෙස වරදාන සහ වරප්‍රසාද ලබා ගත් Informatics පෞද්ගලික සමාගමේ සභාපති ආචාර්ය ගාමිණි වික්‍රමසිංහ සහ ඔහුගේ පුත් හිරාන් වික්‍රමසිංහ ගේ සෘජු මැදිහත් වීමෙන් සිදුවන මෙම මහා පරිමාන දූෂණ සහ වංචා නිසා උක්ත ආයතන දෙකෙහි එදිනෙදා වැඩ කටයුතු කරගෙන යාමේ අපහසු තත්වයකට මෙම ආයතන දෙක අද වන විට වැටී තිබේ.

කුප්‍රකට ව්‍යාපාරිකයෙක් ලෙස ප්‍රසිද්ධියක් උසුලන ආචාර්ය ගාමිණි වික්‍රමසිංහගේ පැටිකිරිය එළියට පැමිණෙන්නේ ඔහු 2007 වසරේ ලංකා බැංකුවේ සභාපතිවරයා ලෙස පත්වීම භාරගත් පසුවය. ඔහු ඉතා සූක්ෂම ලෙස ලංකා බැංකුවේ විශාල ව්‍යාපෘති ඔහුගේ සමාගම් වලට සහ හිතවතුන්ට පිරිනමමින් ලංකා බැංකුව වලපල්ලට දැමීමට කටයුතු සිදුකල අතර, එහි වෘත්තීය සමිති වල දැඩි බලපෑම් හමුවේ, පසුව ඔහු ලංකා බැංකු සභාපති ධූරයෙන් පන්නා දමනු ලැබීය.

රාජපක්ෂ රෙජීමයේ සුරතලෙකු ලෙස ප්‍රකට ඔහු ඉන් පසුව ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේ නැවතත් සක්‍රීය වෙමින්, මුදල් අමාත්‍යංශයේ ඉහල නිලධාරීන්ගේ බලපෑම් මත නැවතත් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ සහ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ජාතික මට්ටමේ තොරතුරු තාක්ෂණ, හැඳුනුම්පත් මුද්‍රණ සහ සියලුම ඊට අදාළ ටෙන්ඩර් ඔහුගේ හිමිකාරීත්වයෙන් යුතු Informatics ආයතනයට ලබාගැනීමට කටයුතු සිදු කරමින් සිටින අතර ප්‍රසම්පාදන ක්‍රියාවලියට අනුකූලතාවය දක්වා නිවැරදි රජයේ ප්‍රසම්පාදන රීති අනුගමය කිරීමට සැරසෙන නිලධාරීන් ඔහුගේ අවනතට යටත් නොවුනහොත් ඔවුන්ට ස්ථාන මාරු ලබාදී ඉවත් කිරීමට තරම් ප්‍රබල ලෙස මෙම උක්ත ආයතන දෙක පාලනය කරනු ලබයි.

ඉහතින් සඳහන් ප්‍රසම්පාදන ක්‍රියාවලින් ඇගයීමට ඔහුගේ හිතවතුන් පමණක් පත්කර ගැනීමට ඔහු වගබලාගන්නා අතර ටෙන්ඩරය පුවත්පත් දැන්වීම මගින් ප්‍රසිද්ධ කිරීමට පෙර අදාළ ටෙන්ඩර පිරිවිතර ඔහුට සරිලන ලෙස සකස් කර ගැනීමට ඔහු සූක්ෂම ලෙස කටයුතු කරන අතර, ටෙන්ඩර් මණ්ඩල, තාක්ෂණික කමිටු සාමාජිකයින් ඇතුලු සියලු නිලධාරීන් ඔහුගේ පාලනයට නතු වූවන් වේ.

මෙම තාක්ෂණික පද්ධතිවල සක්‍යතාවය හෝ නිසි ක්‍රියාකාරීත්වය පිලිබඳ කිසිඳු තැකීමක් අදාළ නිලධාරීන් තඹයකට හෝ මායිම් නොකරන අතර ආචාර්ය ගාමිණි වික්‍රමසිංහගේ වරදාන සහ වරප්‍රසාද පිළිබඳව පමණක් ඔවුන් උත්සුක වේ.

රට මහත් ව්‍යසනයකට අද දැමූ ගෝඨාභය රාජපක්ෂ පාලන සමය නිම වුවද, තවමත් එහි මෙවැනි අවශේෂ තැරැව්කරුවන් යහමින් තමන්ගේ මඩිය තරකරගනිමින් සිටින අතර වහාම මේ පිළිබඳව අදාළ දෙපාර්තමේන්තු, රජයේ විගණන නිලධාරීන් විසින් මැදිහත්වී නවතා නොදැමුවහොත් සෞඛ්‍ය අමාත්‍යංශයේ සිදුවූ අක්‍රමිකතාවයට නොදෙවෙනි අක්‍රමිකතාවයක් ජන ජීවිතයට සෘජුවම සම්බන්ධතාවයක් ඇති උක්ත දෙපාර්තමේන්තු වල සිදුවීමට නියමිතය.

මේ පිළිබඳව ඉතා ඉක්මනින් මැදිහත් වී අපක්ෂපාතී පරීක්ෂණයක් සිදු කොට මෙම දූෂිතයින් ජනතාව හමුවට කැඳවිය යුතුය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *