ක්‍රිකට් ක්‍රීඩා ලකුණු වංචාවේ සැකකරුට ලක්ෂ 200 ක් ඇප

ක්‍රිකට් ක්‍රීඩා තරඟාවලියකදී අඩු ලකුණු පෙන්වන පරිදි තරඟ කරන්නැයි ක්‍රීඩකයන්ට උපදෙස් දුන්නැයි ඉන්දියානූ ජාතිකයෙකු වූ අකාප් ෆවුලෝඩියා යන පුද්ගලයාට මහනුවර මහාධිකරණ විනිසුරු දර්ශිකා විමලසිරි මෙනවිය විසින් රුපියල් ලක්ෂ 200 ක ශරීර ඇප දෙකක් මත් මුදාහැරියේය.
2024 මාර්තු 9 දින හෝ ඊට ආසන්න දිනයකදී මහනුවර මහාධිකරණ බල ප්‍රදේශයේදී සැකකරු විසින් යම් ක්‍රීඩාවක හෝ ක්‍රීඩා ඉසව්වක ප්‍රථිපලයට බලපෑම් කිරීම සඳහා යම් ක්‍රීයාවක් කිරීමට හෝ යම් ක්‍රියාවක් කිරීමෙන් වැළකී සිටීමට යම් තැනැත්තෙකුගෙන් ඉල්ලීම් කිරීමෙන් ලෙජන්ඩ් ක්‍රිකට් කෝච් තරඟාවලියේ පන්ජාබ් කණ්ඩායමේ තරඟ කරුවෙකු වන නීල් ට්‍රෙවර් බෘාම් යන අයට ආරම්භක පිතිකරු ලෙස පිටියට පැමිණ තනි ඉලක්කමේ ලකුණු ප්‍රමාණයක් ඉලක්කම් දෙකේ බෝල සංඛ්‍යාවකදී ලබා ගෙන තමා විසින්ම දැවී යන ලෙසට යෝජනා කිරීමෙන් ක්‍රීඩාවල දූෂණය යන වරද සිදුකිරීමෙන් 2019 අංක 24 දරණ ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ පණතේ 5 (,ඇ)වගන්තිය කඩ කල බවට සැකකරුට එරෙහිව නීතී පති වරයා විසින් ගොනු කරන ලද ⁣අධිචෝදනා පත්‍ර අධිකරණයේදී බාර දෙනු ලැබීය.
සැකකරුට එරෙහිව ක්‍රිකට් ක්‍රීඩා වංචා නඩු දෙකක් මෙහිදී ඉදිරිපත් විය( නඩු අංක 80/24 ,81/24)
සැකකරුට එරෙහිව ෆල් මස්ටර්ඩ් යන අය විසින් විසින් ක්‍රීඩා අමාත්‍යාංශයේ ක්‍රීඩා විමර්ශණ ඒකකයට කරන ලද පැමිණිල්ලක් මත ක්‍රීඩා විමර්ශණ ඒකකය මහාධිකරණය හමුවේ මෙම නඩුව පවරා තිබිණි.
සැකකරු වෙනුවෙන් ජනාධිපති නීතීඥ ගාමිණී මාරපන මහතා ඇතුළු නීතීඥ වරු දෙදෙනෙක් පෙනී සිටියහ.
පැමිණිල්ල වෙනුවෙන් රජයේ අධිනීතීඥ උදාර කරුණාතිලක මහතා පෙනී සිටියේය.
මෙහිදී සැකකරුට දැඩි ඇප කොන්දේසි නියම කල මහාධිකරණ විනිසුරු වරිය සැකකරුගේ විදේශ ගමන් , තහනම් කරමින් ඒ පිළිබඳව ආගමන හා විගමන පාලක වෙත හා කටුනායක ගුවන් තොටුපල පලාක වරයා වෙතද දන්වා යවන ලෙසට මහාධිකරණයේ රෙජිස්ට්‍රාර් වරයාට නියෝග කළේය.
එයට අමතරව දෙසතියකට වරක් ඉරිදා දින පෙ ව 9 00 12. 00 අතර කාලය තුල සැකකරුට ක්‍රීඩා විමර්ශණ ඒකකයට වාර්තා කරන ලෙසටද මහාධිකරණ විනිසුරු වරිය නියෝග කළාය.යලිත් මෙම නඩුව අගෝස්තු මස 02 වන දින දක්වා කල් තැබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *