සාගලගේ රථයේ ගැටි තුවාල ලැබු තිදෙනාට රෝහලෙන් යන්නැයි බලපෑම්

පොසොන් පොහොය දිනයේ අනුරාධපුරයේදී ජනාධිපතිවරයාගේ ප්‍රභූ රථ පෙළේ මෝටර් රථයක කුඩා ලොරි රථයක් ගැටීමෙන් සිදු වූ අනතුරකින් බරපතළ තුවාල ලැබූ ලොරි රථයේ රියදුරු, ඔහුගේ ගර්භණී බිරිඳ ඇතුළු තිදෙනකු අනුරාධපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.
ජනාධිපතිවරයාගේ තන්තිරිමලේ සංචාරයෙන් පසු මේ වාහන පෙළ එදින පස්වරු 6.30ට පමණ තිසා වැව අසල ප්‍රදේශයෙන් ගමන් කර තිබේ. එහිදී මේ අනතුර සිදුවී ඇති අතර, අනතුර සිදු වූ වහාම ප්‍රභූ රථ පෙළේ වාහනයේ අංක තහඩු ඉවත් කිරීමට එහි සිටි පිරිස කටයුතු කර තිබේ. එම වාහනය අධික වේගයෙන් පාරේ වැරදි දෙසින් පැමිණි බව සිද්ධිය ඇසින් දුටු පිරිස පවසති. මේ වාහනය ජනාධිපති කාර්ය්‍ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතාගේ රථයක් බව වාර්තා වේ.


අනතුරට මුහුණ දුන් ලොරි රථයේ රියදුරා සහ ඔහුගේ බිරිඳ වන ගර්භණී කාන්තාව අනතුරෙන් පසු වාහනයෙන් එළියට ගෙන ඇත්තේ දොර කැඩීමෙන් පසුව ය. රියදුරාගේ පාදයක් කොටස් තුනකට කැඩී ඇති අතර, ඔහුගේ හිසට ද හානි සිදු වී තිබේ. ඔහුගේ බිරිඳ වන ගර්භණී කාන්තාවගේ පාදය ද කැඩී ඇති අතර, ඇයට ද ශල්‍යකර්මයක් සිදුකර ඇත.
ලොරි රථයේ පිටුපස තවත් පස්දෙනෙකු ගමන් කර තිබේ. ඒ අතරින් එක් කුඩා දරුවකුගේ පාදයට දැඩි හානි සිදුවී ඇතැයි ද වාර්තා වේ.
ප්‍රභූ රථ පෙළේ වාහනයේ රියදුරා අනුරාධපුර පොලිසියෙන් අත්අඩංගුවට ගෙන මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප පිට මුදාහැර ඇති අතර, හෙට (28) මීට අදාළ නඩුව අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවීමට නියමිත ය. බරපතළ තුවාල ලැබූ තිදෙනකු රෝහල්ගත කර තිබියදී රියදුරා මුදාහැර ඇති අතර, දිගින්-දිගටම අදාළ රෝගීන් රෝහලෙන් හැකි ඉක්මනින් පිටකිරීමේ උත්සාහයක් ද ක්‍රියාත්මක වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *