ටිරාන්ගේ දේශපාලන රැස්විම පොලිසියේ අනුග්‍රහයෙන් අද සවස 2කට තලවතුගොඩදී

පොලිස් නිලධාරීන්ගෙන් මුදල් එකතු කර, තලවතුගොඩ මොනාර්ච් හෝටලයේ දේශපාලන රැස්වීමක් පැවැත්වීමට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් කටයුතු කර තිබේ.
හෙට (17) පස්වරු 2ට මේ රැස්වීම පැවැත්වීමට නියමිතව ඇත්තේ පොලිසිය බාර ඇමැති ටිරාන් අලස්ගේ ප්‍රධානත්වයෙනි. මේ සඳහා එක් පොලිස් ස්ථානාධිපතිවරයකු රුපියල් 7,000ක මුදලක් සහ ඩීසල් ලීටර් 10කට අවශ්‍ය වියදම් ලබාදිය යුතු බවට නියෝග කර තිබේ.
එක් පොලිස් කොට්ඨාසයකින් එක් බස් රථයක් බැගින් මේ රැස්වීම සඳහා පිරිස ගෙන ඒමට යෙදවිය යුතු බවට ද දැනුම් දී ඇත.
මීට මාස දෙකකට පෙර පොලිස්පතිවරයාගේ කාර්යාලයෙන් පොලිස් ස්ථානාධිපතිවරුන්ට දැනුම් දී ඇත්තේ ප්‍රදේශයේ කීර්තිමත් විශ්‍රාමික පුද්ගලයන් දෙදෙනෙකුගේ බැගින් නම් එවන ලෙසයි. ඒ අනුව පොලිස් ස්ථානාධිපතිවරුන් විසින් විදුහල්පතිවරුන්, රජයේ සේවයේ සිටි ඉහළ නිලධාරීන් වැනි පුද්ගලයන්ගේ නම් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් මගින් පොලිස්පති කාර්යාලය වෙත යොමුකර ඇත.
ඉන්පසු දැනුම් දී ඇත්තේ අදාළ නම් එවන ලද පුද්ගලයන් ඇමතීමට මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස්ට අවශ්‍ය වී ඇති බවත්, ඒ සඳහා සියලු පහසුකම් පොලිස් ස්ථානාධිපතිවරුන් විසින් සැපයිය යුතු බවත් ය. ඒ අනුව පොලිස් කොට්ඨාස 45න් වායු සමනය කරන ලද බස් රථ 45ක් යොදවන ලෙසත්, අදාළ පුද්ගලයන්ගේ ආහාර සහ හෝටලයේ වවිදම් සඳහා රුපියල් 7,000 බැගින් ලබාදෙන ලෙසත් පොලිස් ස්ථානාධිපතිවරුන්ට දැනුම් දී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *