චිචීට රොකට් අරන්දුන්න “මනී” රනිල්ට දෙමළ ජන්ද අරන්දෙන්න බාරගනියි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂයේ බාල පුත්‍රයා වූ රෝහිත රාජපක්ෂ නොහොත් “චිචී” යැව්වා යැයි කියන සන්නිවේදන චන්ද්‍රිකාවට මූල්‍ය අනුග්‍රාහකයා වූ සුප්‍රිම් සැට් හි හිමිකරු,මනිවාවනන් මෙවර මීළඟ ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට දෙමළ ඡන්ද අරන්දීමේ කොන්ත්‍රාත්තුව බාරගෙන ඇත.

කළකට ඉහතදී රනිල්, භාරකාර ජනපතිවීමෙන් පසුව ඔහු‍ට ඉන්දියාව පූට්ටු කරගනිමින් ණයට තේල් හා ගෑස් ගෙනත්දී රනිල්ගේ අසුන ආරක්ෂා කර දුන්නේද මනී විසින් බව මේවන විට ප්‍රසිද්ධ රහසකි.

ඒ අනුව සිංහල ඡන්ද 35%ක ප්‍රතිශතයක් පමණක් ගෙන ඉතිරිය දෙමළ ජනයාගේ ඡන්දවලින් පුරවාගනිමින් රනිල් අලුත් පාරකින් ජනපති කිරීමේ සාගලගේ ව්‍යාපෘතියේ මහ මොළකරුවා වී සිටින්නේ ද මනීය.

කාලයක සිට ජනපතිවරුන්ට හිතවත් ව්‍යාපාරිකයකු වූ මනී, මෙවර දෙමළ ජනතාවගේ හිතේ නිල් පැලපදියම් කිරීමට හදන්නේ හින්දු ආගමද පටලවාගෙනය.

දැඩි ආගම් භක්තිකයන් වන දෙමළ ජනයාට වසර 30කට ආසන්න කාලයක් පැවැති යුද්ධයෙන් පසුව කිසිම ජනපතිකෙනෙකු ඔවුන්ගේ හින්දු ආගමේ අභිවෘධිය සම්බන්ධයෙන් වෙහෙසවූයේ නැත.

එම අවස්ථාව ගනිමින් රනිල් දෙමළ ජනයාට කිට්ටු කිරීමේ සැලැසුමේ මූලික පියවරක් ලෙස ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක පසුගියදා ආදම්ගේ පාලම තැනීමේ සාකච්ඡාවකට ඉන්දියාවට ගියේ හිටිහැටියේය.

“මහාභාරත“ වීර කාව්‍යයට අනුව රාවණා රජු විසින් සීතා දේවිය පැහැර ගෙන ආ පසු ඇය බේරා ගැනීමට රාම එන්නේ හනුමන්තා විසින් ඉන්දියාව හා ශ්‍රී ලංකාව යා කරමින් ඉදි කළ පාලමකින් එතෙර වෙමිනි.

වාල්මිකිගේ රාමායණයෙහි ද මේ ගැන සඳහනක් ඇත.

ඉතිහාසයේ තවත් තැනක ආදම්ගේ පාලමක් ගැන සඳහන් වන්නේය.

ආදම්ගේ පාලමේ සැලකිය හැකි කොටස් අදටත් මන්නාරම් දුපත් හා ඉන්දියාවේ රාමේෂ්වරන් අතර පිහිටා ඇති බවට ද විශ්වාස කෙරේ.

අතීතයේදි මෙන් වර්තමානයේදී ද ඉන්දියාව හා ශ්‍රී ලංකාව යා කරමින් පාලමක් ඉදි කිරීම ගැන කතාබහක් මුලින්ම පැමිණියේ 2001 වර්ෂයේ පත්වූ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු සමයේය.

එවක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යළි පුබුදමු ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ප්‍රමුඛත්වය දුන් එක් වැඩසටහනක් වූවේ ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර පාලමක් ඉදිකොට රටවල් දෙක සම්බන්ධ කිරීමය.

අගමැති රනිල්ගේ ඉන්දීය සංචාරයේදි එවක ඉන්දීය අග්‍රාමාත්‍ය අතල් බිහාරි වජ්පායි අතර පැවැති සාකච්ඡාවේදී මේ ගැන එකඟතාවකට පැමිණියේය.

ඒ අනුව මූලික ශක්‍යතා අධ්‍යයනයන් සිදු සිදු කළ බව පැවසේ.

එහෙත් 2004 ආණ්ඩු පෙරළියත් සමඟ එම ව්‍යාපෘතිය ඇන හිටියේය.

ඉන් පසු 2015 දි යළි යහපාලන රජය බලයට පත්වූ විගස අගමැති රනිල් වික්‍රමසිංහ ඉන්දියාව සමඟ මේ ගැන සාකච්ඡා කළ ද ඔවුන් එම අවස්ථාවේ විශ්වාසය තැබුවේ සේතු සමුද්‍රම් ව්‍යාපෘතියටය.

මනී ගුරුකරගෙන ඇත්තේ මෙන්න මේ අතීත කතා පුවතය.

නැත්නම් මනී පසුගියදා ඉන්දු –  ශ්‍රී ලංකා අධ්‍යාත්මික සම්බන්ධතාවයේ සහ සංස්කෘතික පුනර්ජීවනයේ නව යුගයක් ආරම්භ කිරීමේ අඩිතාලම නිර්මාණය කිරීමේ පියවරක් ලෙස යැයි කියමින් පසුගිය 21 වැනිදා ශ්‍රී රාමායන් ට්‍රේල්ස් (ශ්‍රී රාමායණ මංපෙත්) නිල ආරම්භය සටහන් කළේය.

ලොව අති නවීන තාක්ෂණික හා සංචාරක ක්‍රමවේදයන් සමඟින් ආරම්භ වන ශ්‍රී රාමායන් ට්‍රේල්ස්, ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර දීර්ඝ කාලයක් පුරාවට පවත්නා අධ්‍යාත්මික හා සංස්කෘතික සම්බන්ධය මවා පෑමට ගනු ලබන උත්සාහයකි.

මේ වැඩේට මනී ඉන්දියාවේ ප්‍රධානියා ලෙස හවුල්කරගෙන ඇත්තේ ඉන්දියාවේ අයෝධ්‍යයා හි සුවිශාලතම ශ්‍රී රාම පූජා මන්දිරයේ ප්‍රධාන භාණ්ඩාගාරික අතිඋතුම් ස්වාමි ගෝවින්ද් දේව් ගිරි මහාරාජ් ස්වාමිතුමාය.

ඒ අනුව, ශ්‍රී ලංකාව හා ඉන්දියාව ගැන සඳහන් ඓතිහාසික රාමායණය කතා පුවත හා සම්බන්ධිත ලංකාව පුරා පිහිටි ප්‍රධාන ස්ථාන නවයක් ජාත්‍යන්තරය කරා ගෙන යාම මෙම ව්‍යාපෘතියේ මූලික අභිමතාර්ථයකි.

මෙම ස්ථාන හුදෙක් පුරාණ ගොඩනැගිලි ලෙස පමණක් නොව නවීනතම තාක්ෂණය (AI) සමඟ සජීවීකරණය කල සිද්ධීන් ලෙස ප්‍රේක්ෂකයාට පෙන්වීමට ද සැලැසුම් කර ඇත.

මන්නාරම් ද්‍රෝණියේ ආදම්ගේ පාලමේ සිට නුවරඑළියේ සීතාඑළිය දක්වා තෝරාගෙන ඇති සෑම ස්ථානයක්ම රාමායණය කතා පුවත හා සබැඳි ඓතිහාසික වටිනාකම් රැඳි ස්ථානයන් 09ක් මේ අනුව අලුතින් සංවර්ධනය කිරීමට සැලැසුම් කර ඇති බව කියා සිටී.

එමෙන්ම මේ ව්‍යාපෘතිය සමඟින් ශ්‍රී ලංකාව අධ්‍යාත්මික සංචාරක ගමනාන්තයක් ලෙස ස්ථානගත කිරීමත්, එමඟින් ගෝලීය වේදිකාවේ ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය සහ සංස්කෘතික කීර්තිය ඉහළ නැංවීමත් අරමුණු වේ.

මෙහි වියදම, ඇමෙරිකානු ඩොලර් මිලියන 50කට යැයි කිය සුප්‍රීම් ග්ලෝබල් හෝල්ඩිංග්ස් එම ආයෝජනය කලාපීය ප්‍රබල ආයෝජකයින් සමඟ එක්ව සොයා කරන බවද කියා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *