කුණු මාලු  ලෙස සංස්ථාවම ගදගස්වන  සභාපති ඩී වී උපුල්

ඇතැම් ධීවරයන් ලයිට් කෝස් ක්‍රමයෙන් මුහුදේ මාළු සම්පත් සූරා ගන්නා සේ වත්මන් ධීවර සංස්ථා සභාපතිවරයාද සංස්ථාව සූරා කමින් සිටින බවට සංස්ථා සේවකයෝ චෝදනා කරති. මේ වන විට ධීවර සංස්ථාවේ සභාපතිවරයා වන්නේ හිටපු පළාත් ඇමතිවරයෙකු වු ඩී.වී.උපුල් යන අයයි.ඔහු වත්මන් විදුලිබල රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානකගේ පියාය.එහෙත් මේ සියල්ලටම පෙර ඔහු මාළු මුදලාලි කෙනෙකි.මේ නිසා සේවකයන් ලැදියාවන් අතර ගැටුමක් ඇති ඔහු වැනි අයෙකු ධීවර සංස්ථාවේ සභාපති ධූරයට පත් කිරීමම වැරදි ක්‍රියාවක් බවය.

සභාපතිවරයා ධීවර සංස්ථාවේ සභාපති ධූරය තමන්ගේ මාළු ව්‍යාපාරය කරගෙන යෑම සඳහා අවභාවිත කරන ආකාරය සඳහන් කරමින් සංස්ථාවේ සේවකයෝ ජනාධිපතිවරයා වෙත දීර්ඝ ලිපියක් මගින් කරුණු දක්වා තිබේ.සේවකයන් පෙන්වා දෙන ආකාරයට සභාපතිවරයා රාජ්‍ය ආයතන මූල්‍ය හෝ පරිපාලන රෙගුලාසි මෙන්ම ප්‍රසම්පාදන නියමයන්ද තුට්ටුවකට සැලකිල්ලට නොගෙන සංස්ථාව සමග ගනු දෙනු කරමින් සිටී. සුදුසුකම් නොමැති ,දූෂිත නිලධාරීන්ගේ සහය ඒ සඳහා ඔහුට මනා පිටිවහලක් වී තිබේ.

2009 මැයි මස 06 දින කැබිනට් තීරණයකට අනුව සියලුම රජයේ රෝහල්වල නේවාසික රෝගීන් සඳහා කෙලවල්ලන් සහ තලපත් මාළු සැපයීම ධීවර සංස්ථාවට පවරා දෙනු ලැබ තිබිණ.රෝගීන් සඳහා මාළු සැපයීමේ දී අල්ලා ගත් වහාම මුහුදේ දීම අධිශීත කර තිබිය යුතු බවට කොන්දේසියක් තිබේ.ඊට හේතුව රෝගීන්ට සපයන මාළුවල සෞඛ්‍ය ආරක්‍ෂිත බව සහතික කිරීමය.එහෙත් වත්මන් සභාපතිවරයා පත්වූ පසු කොමිස් ලබා ගැනීමේ අරමුණෙන් අල්ලා ගොඩ බිමට ගෙන ආ පසු අධි ශීත කරන ලද මාළු පවා මිලදී ගැනීමට කටයුතු කර ඇත.

එසේම ඔහු සභාපතිධූරයට පත් වූ 2023 අප්‍රේල් 06 දාම  සංස්ථාවේ  මාළු මිල දී ගැනීමේ මිල කමිටුව අහෝසි කරන්නට පියවර ගනු ලැබීය.පසුව සේවක විරෝධය නිසා 2023 වසරේ අගෝස්තු මාසයේ මද භාගයේ සිට මිල කමිටුව පිහිටුවීමට සිදු වූ නමුත් මිල කමිටුව අහෝසි කල වකවානුවේ මාළු මිල තීරණය කරනු ලැබුවේ සභාපතිවරයාගේ තනි අභිමතයටය.තමන් විසින් නියම කරන මිලට තමන් විසින්ම සංස්ථාවට මාළු විකුණා ඒ සඳහා ගෙවීම් තමන් විසින්ම අනුමත කිරීම කොතරම් දුරට සදාචාර සම්පන්නද කොතරම් දුරට රාජ්‍ය ප්‍රසම්පාදන රෙගුලාසිවලට අනුකූලදැයි සංස්ථා සේවකයෝ ප්‍රශ්න කරති.

මේ අතර රෝගීන්ගේ පෝෂණ අවශ්‍යතාව මත රෝහල සඳහා කෙලවල්ලන් සහ තලපත් මාළු සැපයිය යුතු වුවත් සභාපතිවරයා මේ වන විට වෙනත් මාළු ව්‍යාපාරිකයෙකුගේ නමින් රෝහල් සඳහා ලින්නා මාළු සැපයීමට පටන් ගෙන තිබේ.සභාපති ඩී.වී.උපුල් ප්‍රසිද්ධව සිටින්නේ ලින්නා මාළු මුදලාලි කෙනෙකු වශයෙනි.

ආරක්ෂක අංශ විසින් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගන්නා ධීවර බෝට්ටුවල තිබෙන මාළු තොග ලබා දෙන්නේ ධීවර සංස්ථාවටය.සංස්ථාව  විසින් එම මාළු  තොග ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණීම සාමාන්‍ය ක්‍රමවේදයයි. පසුගිය වසරේ අප්‍රේල් මාසයේ 06 දින එලෙස ඇත අඩංගුවට ගත් යාත්‍රාවක් තිබූ ලින්නා මාළු කිලෝග්රෑම් 12,000 ක් ප්‍රමාණයක් තම බලතල අයතා ලෙස භාවිතා කරමින් තමන්ම ලබා ගෙන සභාපතිවරයා ඒවා විකුණා සංස්ථාවට ලක්ෂ 50 ක පමණ පාඩුවක් සිදු කර තිබෙන බව සේවකයන් විසින් ජනාධිපතිවරයා වෙත යැවු ලිපියේ දැක්වේ.

වත්මන් සභාපතිවරයා පත්වූ පසු මාස ගණනාවක් උතුරේ සංචාර ගණනාවක් සිදුකොට තිබේ.එහෙත් එම සංචාරයන්ගෙන් සංස්ථාවට ලැබුණු ප්‍රතිලාභයක් නැත.සේවකයන් පවසන්නේ සංස්ථාවේ මුදල් ලක්ෂ ගණනින් වියදම් කරමින්  ඔහු උතුරේ සංචාරය කර ඇත්තේ සංස්ථාව වෙනුවෙන් නොව තමන්ගේ මාළු ව්‍යාපාරය වෙනුවෙන් බවය.සභාපතිවරයා සංස්ථාවේ රැස්වීම් අතර තුරේ ද තම ව්‍යාපාර කටයුතුවල නියැලීම නිසා සංස්ථාවේ නිල රැස්වීම් සේවකයන්ගේ කාලයත් ,රජයේ මුදලුත් කා දමන පැය ගණන් දිග ඒවා බවට පත්ව ඇති බව සේවකයෝ පෙන්වා දෙති.

රුපියල් මිලියන 450 ක පමණ වටිනාකමකින් යුත් සංස්ථාවේ අබලි ද්‍රව්‍ය සහ යකඩ විකිණීම සඳහා හොර තක්සේරු වාර්තා සකස්කර තිබෙන බව සේවකයෝ සිය ලිපිය මගින් අනාවරණ කර තිබේ.එසේම සංස්ථාවේ සේවකයන්ගේ අර්ථ සාධක ගෙවීම සඳහා යයි කියමින් සංස්ථාව සතු වටිනා ඉඩම් විශාල ප්‍රමාණයක් විකිණීමට සභාපති ප්‍රමුඛ ඔහුගේ නිලධාරීන් සූදානම් බව දැන ගන්නට ඇතැයි කියන සේවකයෝ ඒ පිටුපස ද දූෂිත ගනුදෙනුවක් තිබිය හැකි බවට සැක පල කරති.

සිය මදිය තරකර ගැනීම සඳහා සභාපති ධූරයේ බලය අනිසි ලෙස භාවිතා කරන සභාපතිවරයා සිය ශරීරය සැපය සඳහාද සංස්ථාවේ මුදල් මෙන්ම තම තනතුරේ බලය අවභාවිත කරමින් සිටින බව සේවකයෝ සිය ලිපියෙන් පෙන්වා දී තිබේ.මීට පෙර සිටි සියලු සභාපතිවරුන්ට සිට ඇත්තේ එක පෞද්ගලික සහකරුවෙක් පමණකි.වත්මන් සභාපතිවරයා ඊට පටහැනිව අනුමත පෞද්ගලික සහකාරවරයාට අමතරව එම තනතුරට බඳවා ගැනීමේ පටිපාටියද උල්ලංඝනය කරමින් කාන්තාවක බඳවා ගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *