විදේශ අමාත්‍යංශය  ක්ලාක් පෙම්වතියන් රට පටවන්න නීතිය කඩලා – උපාධිධාරීන් අධිකරණයට

විදේශ කටයුතු අමාත්‍යංශයේ තනතුරු ගණනාවක් කළමනාකරණ සහකාර සේවාවේ ලිපිකරුවන් (කලමනාකර සේවා නිලධාරීන් ) වෙත ලබා දීමට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට උපාධිධාරී සේවා සංගම් කටයුතු කර ගෙන යයි.

විදේශ කටයුතු අමාත්‍යංශයේ කන්සියුලර් නිලධාරීන් ලෙස උපාධිධාරීන් එම අමාත්‍යංශය මගින් ඍජුව    බඳවා ගෙන තිබියදී ඊට අයත් විදෙස් රටවල තානාපති කාර්යාල දූත මණ්ඩල කාර්යාල වල සේවය සඳහා යොදවා ඇත්තේ කළමනාකාර සේවා නිලධාරීන් එනම් ලිපිකරුවන්ට පමණක් පෙනී සිටිය හැකි තරග විභාගයකින් සමත්වන පිරිස් ය. මේ තරග විභාගයට රාජ්‍ය සේවයේ උපාධිධාරී පත්වීම් ලද පිරිස් වලට පෙනී සිටින්නට ඉඩ නොදෙන අතර රාජ්‍ය සේවයේ උපාධිධාරීන්ට උපාධියක් තිබීමත් ලිපිකරුවන්ට උපාධියක් නොතිබීමත් ඊට හේතුවයි.

උපාධියක් තිබීම විභාගයකට පෙනී සිටීමට නුසුදුසුකමක් වන එකම රට ශ්‍රීලංකාවයි. මෙහිදී ශ්‍රීලංකා විදේශ කටයුතු අමාත්‍යංශයේ කොන්සියුලර් අංශයේ වසර ගණනාවක් සේවය කරන  නිලධාරීන් වෙනුවට විදේශ දූත මණ්ඩල වෙත යවනු ලබන්නේ ඒ සඳහා කිසිදු දැනුමක් නොමැති ලිපිකරුවන් පිරිසකි.

මේ අතර විදේශ කටයුතු අමාත්‍යංශයේ දැනට සේවය කරන  රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය යටතේ සිටින සාමාන්‍ය ලිපිකරුවන් පිරිසක් කිසිදු විභාගයකින් තොරව විදේශ දූත මණ්ඩල වලට යැවීමටද මේ වන විට විදේශ කටයුතු අමාත්‍යංශයේ නිලධාරීන් කීපදෙනෙකු කටයුතු කරමින් සිටිති.

 සාමාන්‍යයෙන් මෙම ලිපිකරුවන් වසර පහෙන් පහට වෙනත් අමාත්‍යංශ වලට  මාරු කල යුතුය.  එසේ මාරු නොකොට අදාළ විදේශ  තනතුරු ලබා දෙන්නට යන්නේ ඉහල නිලධාරීන් කීපදෙනෙකුගේ අතිශය සමීප සම්බන්ධතා ඇති ලිපිකාරිනියන් කීපදෙනෙකුට එම තනතුරු ලබාදීමට බව විදේශ කටයුතු අමාත්‍යංශ ආරංචිමාර්ග පවසයි.

මේ අතර ශ්‍රීලංකාවේ පරිපාලන සේවය , ගිණුම් සේවය ,සැලසුම් සේවය ඇතුළු වෘත්තීන් සියල්ලකටම  රජයේ සේවකයන් අතර විවෘත  තරග විභාග පවත්වා බඳවා ගැනීම් සිදු කරන අතර විදේශ සේවයට පමණක් එවැනි විවෘත තරග විභාග නොපැවැත්වේ. එම නිසා රාජ්‍ය අංශයේ දක්ෂ නිලධාරීන් විදේශ සේවයට එක්වීම අවහිර කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *