වසර 11 කට පසුව  ජාතික කනිෂ්ඨ වයස  21 න් පහළ පිරිමි හොකී  ශූරතාවය කොළඹට

අවුරුදු 11 කට පසුව ක්‍රියාත්මක වෙමින් ජාතික කනිෂ්ඨ වයස අවුරුදු 21 න් පහළ පිරිමි හොකී තරගාවලියේ ශූරතාවය දිනා ගනිමින් කැපී පෙනෙන්නට කොළඹ හොකී සංගමය නියෝජනය කළ ක්‍රීඩකයෝ ඉකුත් සෙනසුරාදා (17) සමත් වූහ.

කොළඹ හොකී සංගමයේ සංවිධාන ශක්තිය ඇතිව ශ්‍රී ලංකා හොකී සම්මේලනයේ මෙහෙයවීමෙන් නාරාහේන්පිට “ශාලිකා” ක්‍රීඩාංගනයේදී පැවති 44 වැනි ජාතික කනිෂ්ඨ තරගාවලියේ එකම අපරාජිත කණ්ඩායම බවට පත්වෙමින් “ඩබ්ලිව්. චන්මුගම් කුසලාන” තහවුරු කර ගැනීමට කොළඹ  සමත් වීම ඒ අතරේ කැපී පෙනුණි.

අතිශය තියුණු තරගයකින් අනතුරුව අනු ශූරතාව  තහවුරු කර ගැනීමට මාතලේ හොකී සංගමය සමත් වන අතර වාරයේදී තෙවන ස්ථානයෙන් සෑහීමට පත් වන්නට මහනුවර දිස්ත්‍රික් හොකී සංගමයට හැකි විය.

කොළඹ සහ මාතලේ අතර ක්‍රියාත්මක කෙරුණු  තීරණාත්මක අවසන් තරගය අපේක්ෂිත ආකාරයෙන්ම අතිශය තියුණු මුහුණුවරක් ඉසිලීම කැපී පෙනුණි.  තරගයේ ජයග්‍රහණය පතා දෙපිලම  ප්‍රබල ආක්‍රමණශීලී ක්‍රීඩා රටාවක නිරත වීම හේතුවෙන් තරගයේ උණුසුම තීව්‍ර විය.

තරගයේ ප්‍රථම ගෝලය මාතලේ වෙනුවෙන් නෙත්මිණ ධර්මකීර්ති රැස් කළේය. ඒත් සමගම උද්‍යෝගමත් ක්‍රීඩා රටාවක නිරත වෙමින් කේෂාන් ආටිගල ගෝල් ද්විත්වයක් රැස් කරමින් 02 – 01 ක පෙරළිකාර ජයග්‍රහණයක් කොළඹ වෙනුවෙන් සටහන් කිරීමට සමත්වීම කැපී පෙනුණි.

මෙම තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස නෙත්මිණ ධර්මකීර්ති (මාතලේ)  සම්මාන ලැබූ අතර දක්ෂතම ගෝල් රකින්නා ලෙස හෙලරුවන් කරුණාරත්න (මහනුවර) තිළිණ ලැබීය.

අවසන් පූර්ව වටයේදී කොළඹ  හමුවේ මහනුවර ද මාතලේ හමුවේ ශ්‍රී ලංකා පාසල් (මෙරුන්ස්) පිල ද පරාජය ලැබීය.

මෙම පිරිමි තරගාවලියට සමගාමීව ක්‍රියාත්මක කෙරුණු 04 වැනි ජාතික කනිෂ්ඨ වයස අවුරුදු 21 න් පහළ කාන්තා තරගාවලියේ ශූරතාව තහවුරු කර ගනිමින් කැපී පෙනෙන්නට වෙන්නප්පුව සංගමය නියෝජනය කළ ක්‍රීඩිකාවෝ සමත් වන අතර වාරයේදී මහනුවර දිස්ත්‍රික් හොකී සංයමයට අනුශූරතාව හිමි විය. 

ඒකාබද්ධ විශ්ව විද්‍යාලය පරාජයට පත් කරමින් තෙවන ස්ථානය තහවුරු කර ගැනීමට සත්කාරක කොළඹට හැකියාව ලැබිණි.

මෙහි දක්ෂතම ක්‍රීඩිකාව ලෙස නදලි සිරිමාන්න (ඒකාබද්ධ විශ්ව විද්‍යාලය)  සම්මාන ලබන අතර වාරයේදී දක්ෂතම ගෝල් රකින්නිය ලෙස නීලියා කෞෂිනී (වෙන්නප්පුව)  තිළිණ ලැබුවාය.

වෙන්නප්පුව සහ මහනුවර අතර පැවැති අවසන් තරගය ආරම්භයේ සිට අවසාන නිමේෂය දක්වාම තියුණු මුහුණුවරක් ඉසිලු අතර එහි ප්‍රතිඵලයක් ලෙස ක්‍රීඩාවේ ජීව ගුණයට නොගැලපෙන ක්‍රීඩා රටාවක නිරත වන ආකාරයක් ද ක්‍රීඩිකාවන් වෙතින් දිස්වීම බහුතර ක්‍රීඩා ලෝලීන්ගේ අප්‍රසාදයට හේතුවක් විය. මහනුවර වෙතින් එල්ල කරන ලද අභියෝගයට අසීරුවෙන් මුහුණ දෙමින් ගෝල්  01 – 00 ක ජයග්‍රහණයක මිහිර අත් විඳීමට වෙන්නප්පුව ට හැකි විය. ජයග්‍රාහී එකම ගෝලය 42 මිනිත්තුවක දී  දිනුලි පෙරේරා විසින් රැස් කළාය.

  මෙම තරගයේදී මහනුවර පිල නියෝජනය කළ ආර්.ඩී.පී.  රාජපක්ෂ රතු කාඩ් පත මගින් පිටියෙන් පිටමන් කළ අතර එල්.එම්. කුලසේකර (මහනුවර) සහ නිපුනි පෙරේරා (වෙන්නප්පුව) කහ කාඩ් පත මගින් තාවකාලිකව තහනම් කිරීමක් ද දක්නට ලැබුණි.

අවසන් පූර්ව වටයේදී වෙන්නප්පුව හමුවේ ඒකාබද්ධ විශ්ව විද්‍යාලයීය කණ්ඩායම ගෝල් 02 – 00 ක් ලෙසද මහනුවර හමුවේ කොළඹ ගෝල් 02 – 00 ක් ලෙසද පරාජයට පත්විණි.

මෙවර තරගාවලියේ අවසන් අර්ධ අවසාන පූර්ව වටයේ සිට සෑම තරඟයක්ම තියුණු මුහුණුවරක් ගැනීම කැපී පෙනුණි. එහි ප්‍රතිඵලයක් ලෙස අනාගත මෙරට හොකී ක්‍රීඩාව  පෝෂණය කළ හැකි ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් දක්නට ලැබුණි.

ජයග්‍රාහී කණ්ඩායම් උදෙසා තිළිණ ප්‍රදානය ක්‍රීඩා රාජ්‍ය අමාත්‍ය රෝහණ කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *