ජාතික ජ්‍යෙෂ්ඨ බර ඉසිලීමේ  තරගාවලියේ පිරිමි ශූරතාව  යුද හමුදාවට

පොළොන්නරුව ගල්ලෑල්ලේ පිහිටී ජාතික ක්‍රීඩා සංකීර්ණයේ දී පැවති ජාතික ජ්‍යෙෂ්ඨ බර ඉසිලීමේ  තරගාවලියේ පිරිමි ශූරතාව දිනා ගැනීමට යුද හමුදාව (ලකුණු 34) සමත් වන අතර වාරයේදී කාන්තා සමස්ත ශූරතාව සමව දිනා ගනිමින් කැපී පෙනෙන්නට ගුවන් හමුදාව (ලකුණු 22) ට සහ නාවික හමුදාව (ලකුණු 22) ට හැකියාව ලැබිණි. එකී පිරිමි අනු ශූරතාව ගුවන් හමුදාව (ලකුණු 18) සතු විය.

 ඒ අනුව මෙවර තරගාවලියේ පිරිමි සහ කාන්තා සමස්ත ශූරතා කුසලාන ත්‍රිවිධ හමුදාව සතු වීම කැපී පෙණුනි.

ජ්‍යෙෂ්ඨ තරගාවලියේ දක්ෂතම බර උසුලන්නා ලෙස ඉන්දික චතුරංග දිසානායක (කිලෝ ග්‍රෑම් 73 බර පන්තිය) ද දක්ෂතම බර උසුලන්නිය ලෙස හංසනී ගෝමස් (කිලෝ ග්‍රෑම් 49 බර පන්තිය) ද සම්මාන ලැබූහ.

මෙවර කනිෂ්ඨ තරග මාලාවේ පිරිමි ශූරතාව මහනුවර ත්‍රිත්ව විදුහල (ලකුණු 16) දිනා ගන්නා අතර වාරයේදී  පොළොන්නරුව බර ඉසිලීමේ සමාජය (ලකුණු 18) ට කාන්තා ශූරතාව හිමි විය.

එකී පිරිමි අනු ශූරතාව ගලිගමුව සමාජය (ලකුණු 15) ට ද  කාන්තා අනු ශූරතාව  ගාල්ල බර ඉසිලීමේ සමාජය (ලකුණු 16) ට ද හිමි විය.

 දක්ෂතම කනිෂ්ඨ බර උසුලන්නා  ලෙස  ටී.එම්.එන්.එස්. දිසානායක (ගල්ගමුව) සම්මාන ලැබූ අතර  දක්ෂතම කනිෂ්ඨ බර උසුලන්නිය ලෙස ඩබ්ලිව්.ඒ.පී.ඩී.එන්. සංජනා (අන්ඩර් ද බාර් සමාජය) තිළිණ ලැබුවාය.

 අවුරුදු 17 න් පහළ වයස් සීමාවට වෙන්වූ යෞවන තරගාවලියේ බාලක සහ බාලිකා ශූරතා කුසලාන ද්විත්වයම  පොළොන්නරුව බර ඉසිලීමේ සමාජය දිනා ගත් අතර පිරිමි සහ කාන්තා අනු ශූරතා ගාල්ල බර ඉසිලීමේ සමාජය සතු විය.

මෙවර දක්ෂතම යොවුන් ක්‍රීඩකයා ලෙස කේ.බී. වෙනුර (ගාල්ල) ද  කෙරුණු අතර  දක්ෂතම යොවුන් ක්‍රීඩිකාව ලෙස ආර්.එල්.එස්. ලක්සරණී (ගාල්ල) ද ඇගයීමට ලක් කිරීමට සංවිධායකයින් වූ ශ්‍රී ලංකා බර ඉසිලීමේ සම්මේලනය පියවර ගෙන තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *